Thursday, September 28, 2017

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු...
අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම අඩුවෙනවා කියන එකයි, ඒත් එක්කම තමන්ට හිමි වෙලා තිබුන තැන අලුත් අයට ලැබෙනවා කියන එකයි. ඒක තමයි යතාර්ථ‍ය, ඒක අපි හැමෝටම පොදු දෙයක්. ඒ හින්දම අලුතින් එන අයට තැන දෙන්න ඕන හින්දම තමයි මේ අපි මේ විදියට සමු ගන්නෙ....

අත් පොලසන් නාදයත් එක්කම පෙරේරා මහත්තයා තමුන්ගෙ කතාව අවසන් කරා, හැමෝම බලන් ඉන්නෙ දුක්මුසු මුහුණින්, සමහරුන්ගේ ඇස් වල කදුලු, වසර ගන්නාවක් තිස්සෙ තමුන්ට ගුරු හරුකම් දීලා, තාත්තා කෙනෙක් වගෙ, වෙලාවකට හොද මිත්‍රයෙක් වගේ, සමහර වෙලාවට සහෝදරයෙක් වගේ හිටපු පෙ‍රේරාගේ රාජකාරි ජීවිතයේ අවසන් දවස අද.

තමුන්ගේ ජීවිතයේ වැඩිම කාලයක් පෙරේරා ගත කලේ තමන්ගේ ආයතනය වෙනුවෙන්මයි. පෞද්ගලික ජීවිතයේ තමුන්ගෙ බිරිදට, දරුවන්ට වාගේම ඔහු තම රාජකාරි ස්ථානයේ සිටි සියලු දෙනාටම සැලකුවේ ඔහුගේම පව්ලේ සාමජිකයන්ට සලකන ආකාරයටය. කෙනෙකුට අතමාරුවක් අවශ්‍ය වූ විටත්, හදිසි අවශ්‍යතාවයකදී මුදල් ඉල්ලූවත් නැතත් පුරුද්දක් වශයෙන් වෙන් වෙන්ව සෑම කෙනෙක්ගේම පෞද්ගලික දේකදී වුවද කිසිම වෙනසක් නොදක්වා උදව් කිරීම ඔහුගේ සිරිත වේ. විටක ඔහු ගුරුවරයෙකි, තවත් විටක දැනමුතුකම් දෙන වැඩිහිටියෙකි. කොටින්ම ඔහු මේ ආයතනයට නැතුවම බැරි කෙනෙකි.

උසස්වීම් තනතුරු ඔහු කිසිවිටෙකත් අපේක්ෂා නොකලේය. සේවය යෙදුනු අවසාන කාලය වනතෙක්ම ඔහු සිටියේ එකම තනතුරේය. ආයතන ප්‍රධානීන් පවා ඔහුට පසුව සේවයට බැදුනෝ වූහ. එම නිසා සැමවිටම අත්දැකීම් වලින් පරිපූර්ණ පෙරේරා මහතාගෙන් උපදෙස් පැතීම පුරුද්දක් වශයෙන් සැමවිටම සිදු විය.

පෙරේරා යනු ආයතන‍යේ දියුණුවේ ඉනිමග බව කාටත් නොරහසකි. එනමුත් ඔහු අද සේවයෙන් සමු ගනි. හෙට වන විට ඔහු නොමැතිව ආයතනය පවත්වාගෙන යන්නේ කෙසේදැයි සියුම් බියක් බොහෝ දෙනෙකු තුල හට ගෙන ඇති බව ඔවුන්ගේ මුහුණෙන් පිළිබිඹු කෙරේ. ආයතන ප්‍රධානියා වුවද සිටින්නේ දෙගිඩියාවෙනි.

"අයියෝ මොකට බය වෙනවද මං නැතත් දැන් මේ ඔෆිස් එකේ වැඩ කරගෙන යන්න පුලුවන් ගෝලයෝ ටිකක් මං හදලනේ තියෙන්නෙ. ඉතින් ඒ අය මටත් වඩා දක්ෂයි. කිසි දේකට බය වෙන්න එපා. අනික මං ගියා කියලා මට මේ කිසි දෙයක් අමතක නෑ. මං පුලු පුලුවන් විදියට උදව් කරන්නම්කො. ඒ වගේම මං අතින් මොනවා හරි වරදක් හිත් අමනාප වෙන දෙයක් උනා නම් මට සමාවෙන්න ඕන. මට කාත් එක්කවත් කිසිම පෞද්ගලික තරහක් තිබුනේ නෑ."
කදුලු පිරි දෙනෙතින් පෙරේරා මහතා හැමෝටම සමු දුන්නේය.

දැන් කාලය අවසන්‍ ය, දැන් මෙතෙක් කල් ආදරයෙන් බලා ගත් දරුවන් මෙන් සිටි සගයන්ගෙන සමු අරන් පිටවිය යුතුය. හෙටින් පසු ඔවුන් මුහුන දෙන කරදර වලින් ගලවා ගැනීමට කෙනෙක් නොමැත. ශෝකය කැටි වූ බියත් සමගින් පෙරේරා මහතා වැසිකිළිය වෙත ගමන් කලේය.

"අම්මෝ ඇති යන්තං මැන්ටලේ යනවා අද, හෙට ඉදන් චූන් එකේ වැඩක් කරගන්න පුලුවන්, ඕකා මහ ඇනයක් බං. හැම එකම දන්නවා කියලා ඔක්කොටොම හොම්බ දානවා. අනික ලොක්කත් උට බාල්දිය අල්ලන්නෙ හිටියෙ, ඔන්න බලපන් හෙට ඉදන් ලොක්කත් ඌව හලනවා ෂුවර්, කොච්චර වැඩ කරත් දැන් උගෙ කාලේ ඉවරයිනෙ බං. දැන් තියෙන්නේ අපේ කාලේ"

ගොලුවූ හදවතකින් යුතුව පෙරේරා මහතා ආපසු හැරී පිටවෙන දොරටුව වෙතට ගියේය.
එතන සිටි තලතුනා ආරක්ශක නිලදාරියා වෙත මද සිනහවක් පා ආපසූ හැරීවත් නොබලා ඔහු මහ මගට පිවිසියේය. ආරක්ශක නිලදාරියා තමුන්ගෙ අලුතින් පැමිනි කනිෂ්ඨ නිලදාරියාට මග යන පෙරේරා මහතාව පෙන්නුවේය.

"රත්තරන් මනුස්සයෙක්"...

No comments:

Post a Comment

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...