Sunday, November 6, 2011

සිඟනවා නොවෙයි....

"තහ්", මුහුණට වැටුණු ලොකු වතුර බින්දු වලින් ඇහැරුනාට මොකද තවම නගරෙන් අඳුර පහවෙලත් නැහැ. වෙනදට ඇහැරෙනකොට ළඟ ඉන්න අම්ම, ඉස්පිරිතාලේ නවත්තල අදට තුන් දොහක්. එක අතකට අම්ම ඉස්පිරිතාලේ ඉන්න එකත් හොඳා, පේමන්ට් කෑල්ලක නිදා ගන්නවා වගේද ඉස්පිරිතාලේ සුදු රෙදි දාපු උස ඇඳ? එක අතකට බොරු ලෙඩක් හරි හදාගෙන ඉස්පිරිතාලේ නවතින්න හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවක තමා. උදේ පාන්දරම හෙන ගගහ වහින්න පටන් ගත්තේ මොන කරුමෙකටද මන්ද. වහින දවස් වලට හිගමන් යදින්න හරි අමාරුයි, මොකද හැමෝම බලන්නේ ඉක්මනට ගෙවල් වලට හරි වැඩ කරන තැනට හරි යා ගන්න. පේමන්ට් කෑල්ල උඩ තිබ්බ ඉටි රෙදි කෑල්ල නවල අතට ගත්තේ, පොලිස් උන්දෙක් මේක දැක්කොත් විසුමක් නැති හින්ද. මං දන්නා කලේ ඉඳන් ඉන්නේ මේ පේමන්ට් කෑල්ල උඩ. ඇඳුමක් කියල ඇඟේ දවටන් ඉන්න කලිසන් කෑල්ලට ඇඳුමක් කියන්න බැරි ගානට දිරාපත් වෙලා. උදේ පාන්දරම ඉස්කෝලේ යන පුංචි උන්දලා දැක්කම අනේ මටත් අකුරක් හරි ඉගෙන ගන්න තිබ්බනම් කියල හිතෙනවා, එත් ඉතින් එක වේලක් හරි හරියට කන්න නැතුව මොන ඉගෙනීම්ද කියල හිතෙනවා. අම්මට ගෙනත් දෙන්න කියල බෙහෙත් වගයක් දොස්තර මහත්තය ලියල දුන්න කඩදාසි කොලේක, ඒ බෙහෙත ඉස්පිරිතාලේ නැහැල්ලු, අනේ ඉතින් එක අතකට අම්ම තුන් වේල කාල ඉස්පිරිතාලේ හිටියත් මොකද කියල හිතෙනවා වෙලාවකට. බෙහෙතට රුපියල් තුන්සීයක් ඕනේ කියල බැංකුව ගාව බෙහෙත් කඩෙන් කිව්වා. අද උදේම කීයක් හරි හොයාගන්න තිබ්බ එක නැතුව ගියා මේ කාලකන්නි වරුසාව නිසා. අනේ දළඳා හාමුදුරුවනේ, මං ඉන්නෙත් ඔබවහන්සේ වැඩ වාසය කොරන පුරේම තමා, ඔබවහන්සේ ලංකාවේ ඉන්න ඔක්කොටම පිහිට වෙනවා, එත් මේ ඔබවහන්සේගේ පේන මානයේම ඉන්න, අම්ම රැක ගන්න දඟලන කොලුවා දිහා බලන්නේ නැත්තේ ඇයි? අනේ අම්මේ මට තවම එක සතයක්වත් හොයා ගන්න බැරි උනා. මං අද දවසේ කොහොමහරි මගේ අම්මගේ බෙහෙත ගෙනත් දෙනවා. මේ දුක් විදින්නේ, අපි හැමෝම ගියා ආත්මේ පව් කරලා ඇති අම්මේ, මේ පව් අපි මේ ආත්මේ ඉවරකරමු. ආයෙමත් අපිට මේ වගේ පව් විඳින්න නැති වෙයි නේද මගේ අම්මේ?

අනාවක් නැති විලස පාව යයි පැතුම් පොදි
කිමද මේ කටුක බව විඳින්නට කළ පවිට....
මුතු සිනහ වියළි ගොස් හඬන්නට නැත කඳුළු
කඳුළු වුද මුතු නොවේ විලස දුක්බර කෙතේ....

සුමුදු මුදු යහන් නැත විඳින්නට නිඳි සුවය
රනින් කළ වස්ත්‍ර නැත වසන්නට විලිසඟය....
උගන්නට අකුරු නැත උතුම් වුද ඒ ධනය
රසින් කළ අහර නැත බුදින්නෙමි මේ පවිට....

සිඟන්නෙමි දණ වැටී උපයන්න සත කාසි
වැටී මට සත වූද රැකගන්න මව් දිවී....
විඳින්නෙමු මේ පවිට මනු භවයේ එකට හිඳ
නොදකින්න මෙවන් පව් අනතුරුව කිසි දිනක....

1 comment:

වටිනාකමට මිලක්.....

වේලුනු පොල් අතු දැක්කම ගොක් කොල හිනැහෙනවලු... අහලා තියනවා , දැකලා නෑ, ඒක නිකන්ම ආදේශකයක්නෙ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ පරණ වෙන්න තියෙන වටිනකම ...